Wednesday 15th of April 2026

English Tamil
Advertiesment


වටගලට සහ පොලිස්පතිට


2026-04-02 1276

 

" වටගලටත් ජම්පරේ සූදානම් - අපට කොන්දක් තියෙන පොලිස්පතිවරයෙක් හිටියා නම් " ලිපියට ඉහල ප්‍රතිචාරයක් ලැබුණා.වටගල වගේ සීමාව ඉක්මවමින් කටයුතු කරන දේශපාලන තක්කඩින්ට එක පැත්තකින් සමාජ විරෝධයන් හදන්න ඕනි.ඒ සමාජ විරෝධය මේ වෙනකොට උපරිම තැනකට ඇවිත්.ඊළඟට පවතින නීතිය යටතේ මේ වගේ සිද්ධිවලට එරෙහිව පියවර ගන්න අදාල බළධාරීන්ට බල කරන්න ඕනි.

ඒ වගේම රජයේ නිලධාරීන් මේ ජඩ ඇමතිලා ඉදිරියේ දෙකට නැමෙන්නේ නැතිව තමන්ගේ වෘත්තීය ගරුත්වය වෙනුවෙන් නැගීසිටින්න බල කරන්න ඕනි.වටගලගේ හරි මාලිමාවේ හරි වහල්ලු රාජ්‍ය සේවයේ නෑ කියලා පෙන්නන්න රාජ්‍ය සේවකයන්ටත් කොන්දක් තියෙන්න ඕනි.ඇත්තටම රටේ රාළ මේ සටන් කරන්නේ වටගල වගේ පෙන්දන්ට යටත් නොවුන තමන්ගේ රාජකාරිය වගේම වෘත්තියේ ගරුත්වය වෙනුවෙන් නැගී සිටින රාජ්‍ය සේවයක් හදන්න.

මේ සිද්ධියේදී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ස්වාධීනත්වය සහ දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳ බරපතල ප්‍රශ්නය නැවත නැවතත් මතු වෙනවා.මේ සිද්ධියට අනුව පොලිස් නිලධාරියෙක්ගේ රාජකාරියට බාධා කිරීම සහ නීත්‍යානුකූල බලතල අභියෝගයට ලක්කිරීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය ගැනත් සලකලා බලුවොත්.

1.පොලිස් ආඥා පනත සහ දෙපාර්තමේන්තු නියෝග (IGP Circulars) - පොලිස් ආඥා පනතට අනුව පොලිස් නිලධාරියෙකුට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ වැටලීම් සිදුකිරීමට නෛතික බලයක් තියනවා.

​පොලිස් ආඥා පනතේ 53 වන වගන්තියට අනුව සෑම පොලිස් නිලධාරියෙකුම සෑම විටම සේවයේ යෙදී සිටින බව සලකනු ලබන අතර,දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කිරීමට ඔහු බැඳී සිටිනවා.

​● වටලීම් බලතල - අපරාධයක් වැළැක්වීමට හෝ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට තමන්ගේ පොලිස් වසමෙන් පිටතට යාමට නිලධාරියෙකුට බාධාවක් නෑ.සාමාන්‍යයෙන් ආචාරශීලී පියවරක් ලෙස අදාළ බල ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීම සිදු කළත්,ඒක වැටලීමේ රහස්‍යභාවයට හානියක් නම් දැනුවත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් නෙවෙයි.

● ඇමතිවරයාගේ නියෝගය - පොලිස් නිලධාරියෙකුට නියෝග දිය හැක්කේ ඔහුගේ ඉහළ නිලධාරීන්ට පමණි.දේශපාලනඥයෙකුට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වෙන්න ඕනි ආකාරය ගැන නියෝග දෙන්න නෛතික බලයක් නෑ.

2.අපරාධ නඩු විධාන සංග්‍රහය (අ.න.වි.ස.) -

​අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ පොලිස් නිලධාරියෙකුට වාරණයක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට ඇති බලය පැහැදිලි කරලා තියනලා.

● 32 (1) වගන්තිය - සංඥේය වරදක් (Cognizable Offense) සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරියෙකුට බලය ඇත.මෙතනදී "භූමිය" හෝ "වසම" මත පදනම්ව එම බලය සීමා කර නෑ.නිලධාරියෙකු සාධාරණ සැකය මත වැටලීමක් සිදුකරන විට,එය දේශපාලන අධිකාරිය විසින් වැළැක්වීම යුක්තිය පසිඳලීමට බාධා කිරීමක්.

3.දණ්ඩ නීති සංග්‍රහය (Penal Code) - ඇමතිවරයාගේ හැසිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාපරාධී වරදක් විය හැකි අවස්ථා කිහිපයක් තියනවා.

● 183 වන වගන්තිය - රජයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම.පොලිස් නිලධාරියා නීත්‍යානුකූල වැටලීමක යෙදී සිටියදී එය විවේචනය කරමින් හෝ වළක්වමින් සිදුකරන බලපෑම මීට ඇතුළත්.

● 186 වන වගන්තිය - රජයේ නිලධාරියෙකුට සිය රාජකාරිය ඉටුකිරීමෙන් වැළකී සිටීමට සැලැස්වීම සඳහා තර්ජනය කිරීම.

● අයුතු බලපෑම් (Undue Influence) - පොදු දේපළ හෝ මහජන සාමය සුරැකීමට කටයුතු කරන නිලධාරියෙකුට සිය දේශපාලන බලය පාවිච්චි කරමින් ප්‍රසිද්ධියේ අපහාස කිරීම සහ තර්ජනාත්මකව කතා කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදකි.

නීතිය / මූලාශ්‍රය සහ නෛතික තත්ත්වය.

● පොලිස් ආඥා පනත - නිලධාරියා 24 පැය පුරාම සේවයේ යෙදෙන අතර දිවයිනේ ඕනෑම තැනක රාජකාරි කළ හැක.

● අපරාධ නීති විධිවිධාන සංග්‍රහය - වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමේ බලය වසමකට සීමා නොවේ.

● දණ්ඩ නීති සංග්‍රහය - රාජකාරියට බාධා කිරීම සහ අයුතු බලපෑම් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

● ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව - 17 වන සංශෝධනයෙන් පසු ස්ථාපිත පොලිස් කොමිසම හරහා පොලිසියේ ස්වාධීනත්වය ආරක්ෂා කර ඇත.

ඇමතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශය සහ හැසිරීම නීති විරෝධී මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ පොලිස් නිලධාරියෙකුගේ ස්වාධීනත්වය බිඳ දැමීමකි.වැටලීම් සිදුකිරීමේදී අදාළ ප්‍රදේශයේ නිලධාරීන් දැනුවත් කළ යුතු යැයි පැවසීම පරිපාලනමය වශයෙන් "යෝජනාවක්" විය හැකි නමුත්,එය නොකළ බව පවසමින් නිලධාරියෙකුට දෝෂාරෝපණය කිරීම නීතිමය පදනමක් නැති, සදාචාර විරෝධී ක්‍රියාවකි.

මෙවැනි බලපෑම් හමුවේ පොලිස් නිලධාරියාට ජාතික පොලිස් කොමිසම (National Police Commission) වෙත පැමිණිලි කිරීමේ අයිතියක් තියනවා.

 

- රටේ රාළ -
Advertiesment